Skip to content

රාජපක්ෂවාදය ඉවරයි. “වේරලියද්දවාදය” ඉවර ද?

’90 දශකෙ කියන්නෙ ලංකාවෙ සෑහෙන දේවල් වෙනස් වුණු දශකයක්. සමහර විට හැම දශකයක් ම එහෙම වෙන්න ඇති; අපි තරුණ වයසට එන්නෙ 90 දශකෙ නිසා අපට ඒක වැඩියෙන් දැනෙනව ඇති.

මහින්ද බලයට එන්නෙ 2005 දි වුණාට මම හිතන විදියට ඒකට අදාළ පසුබිම හෙවත් “මහින්ද චින්තනය” (හෙවත් හෙජමොනිය “බයියන්” අතට පත්වීම) වර්ධනය වෙන්නෙ 90 දශකයේ. ආගමෙන් ගංගොඩවිල සෝම හාමුදුරුවො, දර්ශනයෙන් නලීන් ද සිල්වා, දේශපාලනයෙන් චම්පික රණවක, මීඩියාවලින් ජැක්සන් ඇන්තනී සහ වසන්ත දුක්ගන්නාරාල, එෆ්එම් චැනල්වලින් සවන සහ ශ්‍රී වගේ මියුසික්වලින් ඒක ගෙනාවෙ වේරලියද්ද.

වේරලියද්ද එන්න කලින් ලංකාවෙ පොප් මියුසික් කියල තිබුණෙ රූකාන්ත, අතුල, නාමල් වගේ ගායකයො හරහා ආපු බටහිර නාගරික ෆැන්ටසිය මුසු තරුණ, පැඟිරි කැරැක්ටර් එකක් එක්ක. මියුසිකලි වෙස්ටර්න් පොප් එක්ක ලොකු සමානකම් නොතිබුණත් ඒ ගෙනාපු කැරැක්ටර් ඇතුලෙ තිබුණෙ කලින් පරම්පරාවට වඩා සොෆ්ට්, රොමැන්ටික්, ඩෙනිම් අඳින, කොකා-කෝලා බොන, තමන් දන්න ජීවිතේට වඩා මොකක් හරි අලුත් දෙයක් තියෙන මොඩර්න් ජීවිතයක් ගැන හීනයක්. ’90 මුල් හරිය ගත්තොත් සිරස එෆ්එම්, සන්නස්ගල, වැලන්ටයින් ඩේ එක, සඳරේණු පත්තරේ වගේ දේවල් හරහා ආපු වයිබ් එකත් මේකට සමාන්තරයි.

පැඟිරි විසේ නාකි විසේ වීම

මේ ස්ටිරියෝටයිප් එක කඩල, පළවෙනි පාරට සිංහල “පොප් මියුසික්වලට” (පිට්ටනිවල තියෙන මියුසිකල් ෂෝවල, බස්වල ඇහෙන, සිංහල මාස් එක අහන) හද්ද ගැමි කටහඬක්, හද්ද ගැමි වයිබ් එකක් එක්ක නාගරිකත්වයේ අනිත් අන්තය වුනු හද්ද කැළේ වැද්දන්ගෙ, ඒ වැද්දන්ට වඩා චුට්ටක් විතර ශිෂ්ටාචාරගත වුණු ගැමියන්ගෙ ඔතෙන්ටික් ෆිලෝසොපිය ගේන්නෙ වේරලියද්ද. රාජ්‍ය බලය පාවිච්චි කරල බලහත්කාරයෙන් පවත්වාගෙන ගිය ගුවන්විදුලි සංගීතය ඇතුලෙ ලයනල් රන්වලලා, රෝහණ බැද්දගේලා සහ එක්තරා දුරකට කපුගේ වගේ ගායකයො හරහා පවා ඔය ගැමි සංගීතය, ග්‍රාමීය චින්තනය යම් යම් මට්ටම්වලින් පැවතුණත් ඒක කවදාවත් පොප් එක වුණේ නෑ. ජනප්‍රිය සංගීතය ඇතුලෙ ඒක තිබුණෙ සී.ටී., ක්ලැරන්ස්, ජෝතිපාලලාට වගේ ම අමරදේවලගෙ ඉන්දියන් ක්ලැසිකල් එකටත් යටින්. 

’90 මැද වෙද්දි සන්ෆලවර්ස්, මේරියන්ස් සංගීතයට රූකාන්ත, අතුල, නාමල්, ප්‍රින්ස් වගේ ආටිස්ට්ලගෙ “පැඟිරි විසේට” ප්‍රයිම් එකක් හිමිවෙලා තිබුණු එළිමහන් වේදිකාව කෝට් එකකුත් ඇඳගෙන ස්ටේජ් එකට නැගල, හූ කියන, උඩ පනින, වැදි නැටුම් නටන, වැදි ගී කියන වේරලියද්දගෙ “නාකි විසේට” මාරුවෙනවා. කටහඬේ, කතාකරන විදියෙ විතරක් නෙවෙයි, මියුසික් පැත්තෙන් ගත්තත් ඒ කාලෙ පොප් මියුසික්වල තිබුණ නාගරික, පැඟිරි ආදරේ වෙනුවට ජන ගී තාලවලට කැලෑව සන්ෆ්ලවර්ස්ල⁣ගෙ ටකරං සද්දෙත් එක්ක ගලපන්නෙ වේරලියද්ද. 

වේරලියද්ද කොච්චර අයිකන් එකක් වුණා ද කියනව නම් ඩුප්ලිකේට් වේරලියද්දලත් තොගයක් ම ආවා. එච්චර කල් සීමිත ඕඩියන්ස් එකකට සීමාවුණු, ජීවන දර්ශනයක් විදියට වේරලියද්දලට කිට්ටු තැනක හිටපු රත්නශ්‍රීලගෙ සිංදු කපුගේ සන්ෆ්ලවර්ස් කැසට් එක හරහා පොප් ස්ටේජ් එකට එනව. චාමර, දමිත් වගේ ඩුප්ලිකේට් වේරලියද්දලා සහ කිංස්ලි, අජිත් මුතුකුමාරණ වගේ ගායකයෝ හරහා ලලිත් වසන්තලා, ශාන්ත ජයලත් තිසේරලා මාස් ප්‍රොඩියුස් කරපු රත්නශ්‍රී-කපුගේ ස්ටයිල් එකේ සිංදු නිල්වලා, රන්සිළු ලේබල් හරහා එළියට එනව. 

2001 රනිල්ගෙ කැම්පේන් සෝංග් එකට රූකාන්ත ව ගත්ත එක අහම්බයක් නෙවෙයි වගේ තමයි, මහින්දගෙ ඉලෙක්ෂන් කැම්පේන් එකට මහින්දටත් අවුරුදු ගාණකට කලින් මහින්ද චින්තනය ගෙනාපු වේරලියද්ද ව ගත්ත එක අහම්බයක් නෙවෙයි.

බිස්නස් සහ මාකටිං ඉගෙනගෙන මියුසික් කරන්න ආපු භාතිය සන්තුෂ්ලා කලින් ම මේ මාර්කට් ට්‍රෙන්ඩ් එක අඳුනගෙන, වසන්තයේ ඇල්බම් එකෙන් ⁣ගෙනාපු බටහිරට බර වයිබ් එක අතෑරල දුක්ගන්නාරාල ව අල්ලලගෙන කුරහන් මල් ගැන සිංදු කියන්න ගන්නව (මේ කුරහං සාටකේ ෆේමස් වෙන්න සෑහෙන කලින්!).

කවිබණ තාලෙට, බස්වල හිඟන්නො කියන හිඟන කවිවල තාලෙට චාමර වීරසිංහලා, අසංක ප්‍රියමන්තලා කියන සිංදු චාට්වල උඩට ම එනවා. ඕක සංසන්දනය කරල බලන්න ඕන ’90 දශකෙ මැද වෙනකකල් හිට් සිංදු රෙසිපිවල තිබුණ සුදු මීදුම, පිණි වැස්ස, සඳ, මල් යාය, විරහව, දුක, ආයාචනා, කඳුළු ගංගා, ප්‍රේමාදරේ වගේ ඇස්පිරේෂන්, ෆැන්ටසි, රොමැන්ටික්, බොළඳ දේවල් එක්ක. අපට එළියෙන් ආපු, අපි හරියට නෙදන්න, හරියට අහු නොවෙන, ඒත් හොයාගෙන ගිහිං හරි අල්ලගන්න ආස, අපට වඩා ලොකු ෆැන්ටසිය වෙනුවට හිඟන තාත්තට කණවැල අල්ලන දෝණි, පන්සල්වලට දුක කියන පෙම්වත්තු, ළමයි අතෑරල වෙන මිනිස්සු එක්ක ගිය ගෑනු, ලොකු තාත්තලා වගේ ත්‍රීවීල් කාරයන්ගෙ, ගාමන්ට් කෙල්ලන්ගෙ හාෂ් රියැලිටි එකට වඩා කිට්ටු, ලබා උපන් හැටි, කරුමෙ විදියට ජීවිතේ දකින චින්තනය හිට්වෙන්න පටන්ගත්තා. පොඩ්ඩක් සූම් අවුට් කරල බැලුවොත් ඕකයි, මහින්දලා ගෙනාපු දේශීයත්වය, අපේකම, ජාත්‍යාලය, යුද්දෙ කියන බයි පැකේජ් එකයි අතර ගැලපීමක් පේන්නැද්ද?

2001 රනිල්ගෙ කැම්පේන් සෝංග් එකට රූකාන්ත ව ගත්ත එක අහම්බයක් නෙවෙයි වගේ තමයි, මහින්දගෙ ඉලෙක්ෂන් කැම්පේන් එකට මහින්දටත් අවුරුදු ගාණකට කලින් මහින්ද චින්තනය ගෙනාපු වේරලියද්ද ව ගත්ත එක අහම්බයක් නෙවෙයි. වේරලියද්ද තමයි ඒ මුලු බිග් අයිඩියා එකේ ම ඔරි-ම-ජිනල් වොයිස් එක.

මාධ්‍ය පරිණාමය

පොප් මියුසික්වල (සහ සමහර විට යම් දුරකට සමස්ථ සංස්කෘතියෙ ම) ඔය ට්‍රාන්ස්ෆෝමේෂන් එකට යටින් යන ඉකොනොමික් සහ මීඩියා/ මීඩියම්වල වෙනස්කම් ටිකකුත් තියෙනවා.

’80 දශකයට කලින් ලංකාවෙ මිනිස්සු මියුසික් ඇහුවෙ ප්‍රධාන විදි තුනකට: රේඩියෝව, තැටි සහ චිත්‍රපටි. රේඩියෝව තිබුණෙ රාජ්‍ය ආධිපත්‍යයේ. සී. ටී, එම්. එස්., ක්ලැරන්ස්ගේ ඉඳන් කැලිප්සෝ බෑන්ඩ් දක්වා පොප් මියුසික්වල ප්‍රධාන මාධ්‍යය වුණේ රෙකෝඩ් තැටි. මේ තැටිවල මාර්කට් එක වුණේ ග්‍රැමෆෝන් හෝ වයිනල් ප්ලේයර් එකක් ගෙදර තිබුණු අය. ඒ කියන්නෙ සමාජ ආර්ථික වශයෙන් ගත්තොත් එක සීමිත පංතියක් තමයි මේවයෙ මාර්කට් එක. රේඩියෝ එක වුණත් වැඩිපුර අහන්න පුළුවන් වුණේ රේඩියෝ එකක් ගෙදර තිබුණු මිනිස්සුන්ට. ඔය දෙකම නැති පහළ පාංතික බහුතර ජනතාවගේ ප්‍රධාන විනෝදාශ්වාද මාධ්‍යය වගේ ම එයාලට සිංදු අහන්න හම්බවුණු ප්‍රධාන තැන වෙන්නෙ සිනමාව. සිනමාවෙ හිට්වෙන්නෙ ජෝතිපාල. ජෝතිපාල සහ අර කලින් කියපු පොප් ආටිස්ට්ලා අරං බැලුවොත් ඒ ඕඩියන්ස් දෙකේ පංති පරතරය පැහැදිළි ව පේනවා. අන්තිමේ දි ජෝතිපාලව රෙකෝඩ් ඉන්ඩස්ට්‍රියට ගේද්දි වුණත් ක්ලැරන්ස්ලා ලවා, ජෝතිපාලගේ සාමාන්‍ය සිංදුවලට වඩා ටිකක් “පොෂ්” දුරකථනයකින්, මල් පිබිදෙන වගේ සිංදු පාවිච්චි කරපු එක රෙකෝඩ් ප්‍රොඩියුසර්ලා හිතාමතා ගත්ත තීරණයක් කියල මම අහල තියෙනවා.

1977 ආර්ථිකය විවෘත වීමත් එක්ක පහළ පාංතික මිනිස්සුන්ගෙ සෝෂල් මොබිලිටි එක වැඩිවෙනවා. එක පැත්තකින් ප්‍රයිවට් බස්, පේමන්ට් බිස්නස්වල ඉඳන් අලුත් ව්‍යාපාරික පැළැන්ති‍යක් හැදෙන අතරෙ මැදපෙරදිග රස්සා වගේ දේවල් හරහා පහළ පාංතික මිනිස්සුන්ට එක පාර ක්ලාස් ලැඩර් එකේ ඉහළට යන්න චාන්ස් එකක් හම්බවෙනවා. ඔය අතරේ සීමිත ප්‍රභූන් පිරිසකට සීමාවෙලා තිබුණු වයිනල් ප්ලේයර් වෙනුවට ඊට වඩා වැඩි මධ්‍යම පාංතිකයො පිරිසක් අතට කැසට් ප්ලේයර් එනවා. එක පාර ඕපන් වුණු ඒ මාර්කට් එකට තොග ගාණට කැසට් හැදෙනවා. සන්ෆ්ලවර්ස්, ජිප්සීස්, රූකාන්ත, අතුල, නාමල්, ප්‍රින්ස් සහ දැන් වෙද්දි නම්වත් මතක නැති සිය ගාණක් ගායකයො එන්න‍ෙ ඔය කැසට් රැල්ලත් එක්ක.

රෙකෝඩ් මාර්කට් එකට වඩා ගොඩක් පළල් වුණත් ’90 මුල හරිය වෙද්දිත් කැසට් මාර්කට් එක ඩොමිනේට් කළේ මධ්‍යම පංතිය. මේ කාලෙ වෙද්දිත් ඊට පහළ පංතියෙ ගොඩක් ගෙවල්වල තිබුණෙ (බොහෝ දුරට AM විතරත් තිබුණු) රේඩියෝ එක විතරයි. ටීවි එකට අමතර ව ඒ කාලෙ ගෙදරක තිබුණු ලොකුම “සුඛෝපභෝගී” භාණ්ඩයක් වුණේ ටිකක් ලොකු, දෙපැත්තෙ ස්පීකර් දෙකක් තියෙන ස්ටීරියෝ කැසට් ප්ලේයර්.

මහින්ද චින්තනය හෙවත් බයි හෙජමොනිය ඉවරවීමත් එක්ක ඒකට අවශ්‍ය වයිබ් එක හදපු මීඩියා, ආර්ට් ට්‍රෙන්ඩුත් ඉවර වෙයි ද?

’90 මැද හරිය වෙද්දි මැදපෙරදිග රස්සාවලට ගිය ගෑණු වැඩිවැඩියෙන් තමන්ගෙ ගෙවල්වලට කැසට් “සෙටප්” (සහ ටීවි) එවන්න පටන්ගන්නවා. ඔය “සෙටප්” ඊට කලින් මධ්‍යම පාංතික ගෙවල්වල තිබුණ කැසට් ප්ලේටර්වලට වඩා ලොකු, ස්පීකර් දෙක සහ ප්ලේයර් එක වෙන ම එන, ගමටම ඇහෙන්න සද්දෙට දාන්න පුළුවන් වර්ගයේ ඒවා. ඔය අතරේ ප්‍රයිවට් බස්වලටත් ටිකටික කැසට් ප්ලේයර් එනවා. ’90 මුල වෙද්දි යම් උගත්කමක් තියෙන, රජයේ හෝ පුද්ගලික අංශයේ ස්ථිර රස්සා කරපු මධ්‍යම පංතිය ඩොමිනේට් කරපු කැසට් මාර්කට් එක, ’90 අග වෙද්දි බිරිඳ රට යැව්ව ගොවියො, රටගිය අම්මලගෙ සල්ලිවලින් ත්‍රීවීල් ගත්ත කොල්ලො, ප්‍රයිවට් බස් දුවන, පේමන්ට් බිස්නස් කරන මිනිස්සු ඇතුලත් ලංකාවෙ සමාජ ආර්ථික වශයෙන් පහළ ම ලේයර් එක අතට එනවා. ඕකට සමාන්තර ව  තමයි රූකාන්තලා අතුලලා අතේ තිබුණු මියුසික් පොප් මියුසික් ඉන්ඩස්ට්‍රිය වේරලියද්දලා චාමරලා අතට යන්නෙත්.

2000න් පස්සෙ අපි සිංදු අහන මීඩියම් සෑහෙන වේගෙන් වෙනස් වුණා. සීඩී හරහා mp3 ආවට පස්සෙ සල්ලි දීලා කැසට් ගන්න එක ඉවර වුණා. ඊට පස්සෙ ආටිස්ට්ලගෙ ප්‍රධාන ආදායම් මාර්ගය වුණේ රිඟින් ටෝන්. සිංදු අහන ප්‍රධාන මාධ්‍යය ෆෝන් එක, යූටියුබ් එක දක්වා ඇවිත් තියෙනවා. දැන් කවුරුත් සල්ලි දීලා මියුසික් අහන්නෙ නෑ (තාම සීමිත පිරිසක් පාවිච්චි කරන ස්පොටිෆයි වගේ ස්ට්‍රීමිං සර්විස් ඇරුණම). තවදුරටත් සමාජ පංති අනුව මියුසික්වලට තියෙන ඇක්සස් එක සීමාවෙලත් නෑ. සමාජ පංති විදියට ගත්තොත් පිරමීඩයට පාදම වගේ ප්‍රමාණාත්මක ව විශාල ම කොට‍ස‍ වෙන්නෙ අර පහළ ම පංතිය.  එතකොට යූටියුබ් වගේ වීව්ස් ප්‍රමාණය අනුව මුදල් උපයන මාර්කට් එකක ආධිපත්‍යය තියෙන්නෙ ඒ පිරිස අතේ.

අරගලයෙන් පසු

ආපහු දේශපාලනය පැත්තට ආවොත්, අවුරුදු විස්සකට විතර පස්සෙ දැන් රාජපක්ෂවාදය නිශ්චිත අවසානයකට ඇවිත් තියෙනව කියල මම හිතන්නෙ. නාමල්ලා දිගට ඉඳියි. අනිත් රාජපක්ෂලත් ඡන්දෙ ඉල්ලුවොත් දිනයි. ඒත් 2005 දි මහින්ද ගෙනාපු, ඊට අවුරුදු ගාණකට කලින් ඉඳන් සෝමලා, චම්පිකලා, නලීන්ලා ⁣ජැක්සන්ලා ගෙනාපු “මහින්ද චින්තනය”, රාජපක්ෂ අයිඩියොලොජි එක ආර්ථික අර්බුදයෙන් සහ අරගලයෙන් පස්සෙ ඉවරවෙලා තියෙනව. මහින්දගේ දේවත්වය දෙශපාලනික ව පරාද වෙලා ඒ අයිඩියොලොජියට අනුව පරම දුෂ්ටයා වුණු රනිල් වික්‍රමසිංහ ව ගේන්න රාජපක්ෂලට ම සිද්ධවෙලා තියෙනව.

ආර්ථික අර්බුදයක් එක්ක අපේ සමාජයේ සැලකිය යුතු ව්‍යුහාත්මක වෙනස්කම් වෙන්න ලොකු ඉඩක් තියෙනවා. මහින්ද චින්තනය හෙවත් බයි හෙජමොනිය ඉවරවීමත් එක්ක ඒකට අවශ්‍ය වයිබ් එක හදපු මීඩියා, ආර්ට් ට්‍රෙන්ඩුත් ඉවර වෙයි ද? ඒවා මොන විදියට වෙනස්වෙයි ද? අනිත් ’90 දශකයේ මහින්ද චින්තනයට පාර කපපු මේ සංස්කෘතික වෙනසට සමාන්තර ව ගිය, බොහෝ දුරට ඒකට පොහොර දාපු මාර්කට් එකේ වෙනස, මියුසික් (සහ අනිත් ගොඩක් දේවල) මාර්කට් එක නාගරික මධ්‍යම පංතියෙන් ගැලවිලා ග්‍රාමීය පහළ ලුම්පන් පංති අතට ගිය එක, ආපහු රිවර්ස් වෙයි කියල හිතන්න අමාරුයි. ඒ කියන්නෙ ’90 දශකෙ මැද නැගල ආපු දේශපාලන ව්‍යාපෘතිය ඉවර වුණත්, ’90 මුල තිබුණ මාර්කට් කන්ඩිෂන් එක ආපහු එන්නෙ නෑ. ඒ කියන්නෙ වේරලියද්දලගෙ මියුසික් ගියත්, ඒ ඉඩට රූකාන්තලගේ අතුලලාගෙ මියුසික්වල දිගුවක් ම එයි කියල කියන්න බෑ. කොහොමත් ඉතිහාසෙ එක යුගයක් ආපහු ඒ විදියට ම ආපහු එන්නෙ නෑ වගේ ම ඉතිහාසය කැ‍රකෙන පැත්ත මේ වගේ සරළ විදියට ප්‍රෙඩික්ට් කරන්නත් බෑ. මේ අලුත් දේශපාලන ආර්ථික තත්ත්වය අපට මොන වගේ මියුසික්, මොන වගේ ආර්ට් අරන් එයි ද කියල බලන්න මේ දශකයත් ජීවත්වෙලා ම බලන්න වෙනවා. 


The opinions expressed in this article are those of the author. They do not reflect the opinions or views of Debas.

Cover Photo: Quoc Nguyen

Leave a Reply

Your email address will not be published. Required fields are marked *