Skip to content

අර්බුද කාලේ – හිතුමතේ ජීවිතේ

මේ ලිපියේ අරමුණ ප්‍රශ්න වලට විසඳුම් සැපයීමට නම් නොවේ. එය තියන ප්‍රශ්න මදිවට තවත් ප්‍රශ්න ඇසීමටයි. විසඳුම් දෙන්න මට පුළුවන් වුණා නම් කොච්චර ශෝක්ද.

අපේ ලංකාව දැනට පවතින්නේ පෙර නොවූ විරූ අර්බුදකාරී සමයක. අර්බුදය තුළින් අපිට ලංකා ඉතිහාසයේ පළමු සැබෑ ජන අරගලය නිර්මාණය කරන්න හැකි වෙලා තියෙනවා. එතකොට, සෑම අරගලයක් වගේම අපේ අරගලයෙත් අවසාන අභිප්‍රාය ස්ථිරසාර, සාධනීය වෙනසක්. ඒ කියන්නේ අර්බුදයක් විසින් අපි හිටියට වඩා හොඳ තැනකට පරිණාමය වෙන්න අපිට බල කරයි කියලා අපේ බලාපොරොත්තුවක් තියෙනවා. තව විදිහකින් කියනවනම් වළකට වැටීම මොළයට ලාභයක් වෙයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් අර කියනවා වගේ ඒක රඳා පවතින්නෙත් අපේ මොලේ තියෙන තැන අනුවයි.

එහෙනම් අපේ මිනිස්සුන්ගේ මොළේ මේ වෙලාවේ තියෙන්නේ කොහෙද? ඓතිහාසිකව අපේ මොළේ තිබුණ තැන් ගැන හිතන එක මොහොතකට අමතක කරමු. මේ වෙලාවේ වාර්තාගත උද්ධමන අනුපාත හමුවේ තමන්ගේ වැටුපට ඇති මිලදී ගැනීමේ බලය ඇස් පනාපිට මොහොතෙන් මොහොත හීන වෙලා යද්දි, අතේ තියන පිච්චියෙන් ගෑස් එකක්, පෙට්‍රල්, ඩීසල් ටිකක්, කිරි පිටි පැකට් එකක් ගන්න පැය 20, 30 පෝලිම් වල කර වෙවී, තෙමි තෙමී, බඩගින්නෙන් සහ වෛරයෙන් පුපුරන ජනතාවක්, හැමවිටම බුද්ධියට ඉඩ දෙයි කියලා හිතන එකම අසාධාරණයි. එවන් අවධියක ඡන්දයක් ගැන සිතීමටවත් පවා මා බිය වෙන එක් හේතුවක් වන්නෙත් එයයි. බුදු හාමුදුරුවොත් කියලා තියෙනවලු නේ බඩගින්නේ ඉන්න කෙනෙකුට බණ කියන්න යන්න එපා කියලා. එහෙනම් මෙවන් මානසික මට්ටමක සිටින ජනතාවකට අරගලයකින් මතු සුබවාදී සිහිනයක් වෙනුවෙන් දිගටම සටන් කිරීම පිළිබඳ පණිවුඩය ඒත්තු යවන්නේ කොහොමද? ඒ පණිවුඩය අපි හිතුව තරම් ජන මනසට කාවැදිලා නොතිබුණු බව පැහැදිලිවම පෙනුනේ දැනට සති දෙක තුනකට කලින් ඇතිවූ සිදුවීම් එක්කයි.

මැයි 9 වෙනිදා අපේ අරගලයේ උච්චතම මොහොත කියන්න පුළුවන්. මුළු රටක්, එකම මොහොතක අරගලය සමග ඒකාත්මික වුනු අවස්ථාවක්. නමුත් ඊළඟ නිමේෂයේ, රටම ගිනි ගැනීමේ අවදානමක් තිබූ නිසා එය නිවා දමන්නටත්, අගමැති කෙනෙක්, කැබිනට් මණ්ඩලයක් නැති වෙලාවක ජනාධිපතිකම හොබවන උන්මත්තකයාට සියලු බලය ලැබේවි යන බියත් එක්ක, බහුතර ජනතාව දැන් නම් කුමක් හෝ දේශපාලන ස්ථාවරත්වයක් නම් හා ගානට වැටී තිබුණා. හරියටම සිස්ටම් එක මොකක්ද කියලා එකඟ වෙලා නොතිබුනත්, “සිස්ටම් චේන්ජ්”, “සිස්ටම් චේන්ජ්” කිය කිය කෑගහපු බහුතරයක් දෙනා රනිල්ගේ පත්වීමත් එක්ක නිහඬ වුන බවක් දැනුනා. දැන් අරගලයේ ඉතිරි වී සිටින්නේ එයට පුරෝගාමී වූ තරුණ ප්‍රජාව පමණක් බවයි පෙනෙන්නේ (එහෙම කියලා අපි කොහොමත් මේක අතහරින්නේ නැහැ). එහෙනම් ක්‍රමයෙ විප්ලවවාදී වෙනසක් අපේක්ෂා කරපු බහුතරය ඇත්තටම අරගල කරල තියෙන්නේ තමන්ගේ මූලික අවශ්‍යතා සපුරල දෙන්න කියලද? ඒ ටික ලබා දීලා නම් තව කමක් නැහැ, ඒත් ඇත්තටම සටන අත ඇරලා තියෙන්නේ තියෙන්නේ ක්‍රමය තුළම පල් වෙච්ච ‘අළුත්’ අගමැති කෙනෙක් කුමක් හෝ ප්‍රාතිහාරයක් පාලා ඔවුන්ට ගෑස් ටික, තෙල් ටික ලබා දෙයි කියන අපේක්ෂාව උඩ පමණයි. බිත්තියට හේත්තු වෙලා ඉන්න ජනතාවක්, ඊළඟ කෑම වේල පිළිබඳව අවිනිශ්චිතව සිටින මොහොතක එවන් ප්‍රතිචාරයක් ඇත්තටම මානුෂියයි. එහෙනම් ප්‍රශ්නය, තමන්ගේ මූලික අවශ්‍යතා ටික පිළිබඳව සහතිකයක් දෙන ගමන්ම දේශපාලන ක්‍රමයේ ක්‍රමය කණපිට ගැසීමක් ගැන ජන මනසට කාවද්දන්නෙ කොහොමද? 

ඊළඟ ප්‍රශ්නය, ඒත් ඒ වගේමයි. අර්බුදය විසින් රටක් විදිහට අපේ පරිභෝජන රටාවම ප්‍රශ්න කරල තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් අපේ ප්‍රවාහනය පිළිබඳ ප්‍රශ්නය. කිලෝමීටර් ගණන් පෝලිම්වල, පැය දහය, දොළහ ඉඳලත් තමන්ගේ පෞද්ගලික වාහනය ෆුල් ටෑන්ක් කරන්න ලැබෙන්නේ නැති අවධියක, ඒ කට්ට කාලා ගන්න තෙල් ටිකට තමන්ට ඔරොත්තු නොදෙන මිලකුත් ගෙවන වෙලාවක, දැන් අපි කාර් එකෙන්, මෝටර් සයිකලෙන්, පාපැදියට බහින්න සූදානම් වෙලා. ඒත් එක්කම තව තවත් පොදු ප්‍රවාහනයට යොමු වෙන්න තීරණය කරල තියෙනවා. ප්‍රධාන මාර්ගවල පාපැදි වලට වෙනම මං තීරු ඇති කරන්න, සහ පොදු ප්‍රවාහනය නගා සිටුවන්න ඕන යන මාතෘකා වැඩි වැඩියෙන් කරළියට ඇවිත් තියෙනවා. නියමයි! අර්බුදය විසින් අපිට වෙනස් වෙන්න බල කෙරෙනවා. ඒකත් තව තිරසාර, පරිසර හිතවාදී වෙනසකට, කොච්චර ශෝක්ද. නමුත්, අර්බුදකාරී සමයක අපි හැඩගැහෙන ජීවන රටාව, ඉන් මතුවටත් ඒ විදිහටම තියෙයි ද? එතකොට අපේ ආකල්පමය ප්‍රශ්නය. තමන් පදින වාහනය මත නම්බුකාරත්වය මනින අපේ ආකල්පය අපි අර්බුදයෙන් එළියට එද්දී නැති කරගෙන එයිද? නැත්නම් රටක් විදිහට අපි පොඩ්ඩ ඔලුව උස්සගත්ත ගමන් ආයෙත් අපේ පරණ සුපුරුදු පුරුදු වලට නොයා ඉඳියි කියන සහතිකය මොකක්ද? 

උදාහරණයක් ලෙස ගමු දැනට පාපැදියෙන් හැමදාම වැඩට යන කෙනෙක්. අපේ වගේ ග්‍රීෂ්ම රටක උදේ පාන්දරම දාඩිය පෙරාගෙන හැමදාම පාපැදියෙන් ඔෆිස් යනවා නම් ඒ බොහෝ දුරට විකල්පයක් නැති නිසා (out of no choice) කරන දෙයක් විය යුතියි. නැවතත් අස්වැසිල්ලක් ලැබූ පමණින් ආයෙත් A/C දාගෙන තමන්ගේ කාර් එකේ (හෝ A/C නැතත් මෝටර් සයිකලේ) යන්න පුරුදු නොවෙයි කියලා අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන් ද? එහෙනම් අපේ “Out of no choice” එක, අපේ “First choice” එක කරගන්නේ කොහොමද? විකල්පයක් නැති නිසා අපි කරන දෙය, අපේ පළමු කැමැත්ත කරගන්නේ කොහොමද?
  
එහෙම නොකලොත්, අර “සිස්ටම් චේන්ජ්” ඉල්ලපු කෙනා ආයේ රනිල් ආපුවම “දැන් නම් වෙනසක් වෙයි” කියල හිතන පරණ පුරුද්දට ගියා වගේ ඉරණමකින් අපේ පරිබෝජනය පිළිබඳ ප්‍රශ්නය බේරගන්න බැරි වෙයි. සමහර විට මේවට බොහොම සරල විසඳුම්, වෙනත් රටවල උදාහරණ බොහොමයක් ඇති. ඒ නමුත්, මේ කතිකාව, dialogue එක, මේ ‘දෙබස’ නිර්මාණය කිරීමේ අරමුණින් මේ ප්‍රශ්න ටික අසා තියන්නම්.

Cover Photo: “Sri Lanka Protests” is copyright (c) 2022 Nazly Ahmed and made available under a Attribution-Noncommercial-Share Alike 2.0 license

1 thought on “අර්බුද කාලේ – හිතුමතේ ජීවිතේ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *